සාමාන්‍ය තොරතුරු
හික්කඩුව නගර සභා බල ප්‍රදේශය කොළඹ සිට කිලෝ මීටර 97 ක් දකුණින් ස්ථානගතව ඇති අතර ගාල්ල සිට කිලෝ මීටර 17 ක් උතුරින් ස්ථානගතව ඇත. ප්‍රදේශයේ භූගෝලීය පිහිටීම අනුව නැගෙනහිර දේශාංශ 80-06 හා උතුරු අක්ෂාංශ 6-06 හා 6-09 අතර ද පිහිටා ඇත. නගර සභා බල ප්‍රදේශය වර්ග කිලෝ මීටර 12.83 කින් සමන්විත වන අතර මායිම් වශයෙන් උතුරින් හා දකුණින් රත්ගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයද, නැගෙනහිරින් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයද, බටහිරින් ඉන්දියන් සාගරයද පවතී. හික්කඩුව ප්‍රදේශය අඩි 100 සමෝච්ඡ රේඛාවට පහළින් නිරිත දිග තෙත් කලාපයේ පහත් බිම් කොටසක් ලෙස පිහිටා ඇති තැනිතලා ප්‍රදේශයකි. මුහුදු තීරය මුහුදු නිධි ලෙසට ගැනෙන වැලි වැටි, වැලි පර හා වැලි තුඩු වලින් යුක්තය. ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර 268 සිට 430 අතර පවතී. දෛනික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 කි.
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති මෙම නගරය උතුරු දෙසට ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ නගරය කරාද, දකුණු දෙසට ගාල්ල, මාතර, හම්බන්තොට, කතරගම දක්වාද, නගර සභා බල ප්‍රදේශයට ඉතා ආසන්නව දක්ෂිණ අධිවේගී මාර්ගය පවතින බැවින් වෙනත් ප්‍රදේශ හා සම්බන්ධවීමේ පහසුව පවතී. නගරාන්තර සේවාවන්ගෙන් හා අධිවේගී මාර්ගයේ වාහන පහසුකම් වලින්ද සමන්විත වන බැවින් ප්‍රදේශය තුළට මෙන්ම අනෙකුත් කලාපයන්ටද, ප්‍රවේශවීමේ පහසුකම ඇත.
